Latest Entries »

පොඩි කොල්ලෙකුගෙ ආසාව

එදා 2011/11/04 උදේ පාන්දර 5.30 යි. මගේ ජීවිතේ පොඩිකාලෙ ඉදලම තිබුණ බලාපොරොත්තුවක් ඉටු වෙන්න යන දවස. හිතේ පොඩි කුකුසක් නොතිබුණාමත් නෙවෙයි. මොකද මේක ඉතින් හරියට කර ගත්තෙ නැතිවුණොත් එහෙම අයෙම මාස ගාණනක් බලාගෙන ඉන්න වගේ වෙන්න පුළුවන් හින්ද. 

උදේ පාන්දර හරියටම මම උඩින් කියපු වෙලාව වෙද්දි අජිත් අයිය වාහනෙත් අරගෙන පරණ පාරෙ අපි එකතු වෙන්න කියපු තැනට ආව. හරි කට්ටියම ලෑස්තියි දැන් යන්න තමයි තියෙන්නෙ. අජිත් අයිය වෑන් එකට අපේ කට්ටිය සේරම ටික නග්ගගෙන පිටත් උණා. ගිහින් සෙලාන් බැංකුව ලගින් වාහනේ නතර කරල ඇහුව කවුද එන්නෙ කියල. හොදයි උදේ පාන්දරම මම අපේ ලර්නර්ස් වෑන් එක පදවන්න මම භාර ගත්ත. 

එදා තමයි මම මගේ ඩ්‍රයිවින් ට්‍රයල් එකට යන දවස. සති ගාණක් පුරුදුවෙලා ඔන්න එදා තමයි මගේ අතටත් අර හැම කොල්ලෙක්ගෙම ජීවිතේ බලාපොරොත්තුවක් කියන ඩ්‍රයිවින් ලයිසන් එක අතට ලැබෙන්නෙ. 

අපට යන්න වෙලා තිබුණෙ බූස්සෙ තුනී ලෑලි සංස්ථාවට. මේ තැන දැකල තියෙන අය නම් දන්නවත් ඇති. මේ තැන හදල තියෙන්නෙ මුහුදට සමාන්තරව යන ගාලුපාරෙන් එහා පැත්තෙ. හරිම දර්ශනීය ස්ථානයක්. ඒවගේම මේ ලෑලි සංස්ථාවට අයිති ගොඩනැගිලි සෑහෙන දුරකට පැතිරිලා යනව. නමුත් ලංකාවෙ බොහොමයක් රාජයේ ආයතනවල ගොඩනැගිලි වලට වෙලා තියෙනව වගේ මෙහි තියෙන ගොඩනැගිලි වලින් බොහෝ ප්‍රමාණයක් කිසිම පලකට නොගෙන අතහැර දාල තමයි තියෙන්නෙ. මෙහෙම අතඇරල දාල තියෙන ගොඩනැගිල්ලක් හරියට ගත්තොතින් indoor cricket සෙල්ලම් කරන්න හදල තියෙන ගොඩනැගිල්ලකටත් වඩා විශාලයි. 

උදේ හත විතර වෙද්දි අපි ආව අපේ තැනට. මුලින්ම ඉතින් අපි එතනට එනකොටත් සමහර අය ඇවිත් හිටිය. හුගක් අය මෝටර් සයිකල් එහෙමත් දාල තිබුණ හින්ද කටිටියක් ඒවගෙන් ඇවිල්ල තිබුණ. අනේ ඉතින් මට නම් මෝටර් බයික් පුරුදුම නැති නිසා. මම දැම්මෙ ඔය පොඩි වාහන ඒ කිව්වෙ කාර් වෑන් විතරයි. 

ඉතින් කොහොම හරි උදෙන්ම තැනට ඇවිල්ලත් අපි කෙරුවෙ පුරුදුවෙන එක. රිවස් එක ගහන විධිය තමා අමාරුම. ඒකත් අරගන්න තිබුණෙ එල් අකුරෙ හැඩේටනෙ. ඉතින් ඔය එල් අකුර හදල තිබුණෙ ඔය පාරෙ වංගුවල එහෙම තියල තියෙන අර තැබිලි පාට කෝන් තියල තමා. එල් අකුරෙ හැඩේට අර අංශක 90 ගන්න ගිහල්ල තමා හුගක් අය ඇන ගන්නෙ. සමහරු ඉතින් කෝන් එක උඩ වගේම ඒවගේ වෙලාවට ඔළුවට ටොකුත් ඇන ගන්නව අජිත් අයියගෙන්. ඉතින් ඔය වගේ ගුටිත් කාගෙන සෑහෙන අමාරුවෙන් තමා මේ ඩ්‍රයිවින් කෙරුවාවත් ඉගෙන ගත්තෙ.

ඉතින් උදේ අපි මෙතැන පොඩ්ඩක් පුරුදු වෙලා අපි ගියා ගාල්ලේ තියෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට. එතන තියෙන අපේ අයදුම් පත් වල අත්සන් කරල එන්න. ඔන්න ඉතින් ඊට පස්සෙ තමා නියම කාලෙ කෑම පටන් ගත්තෙ. ගාල්ලට ගිහින් අපි අවෙ ලර්නර්ස් එකේ වැඩ කරන වෙනින් ඩ්‍රයිවින් පුරුදු කරන අන්කල් කෙනෙක් එක්ක. මෑන්ස් නම් හරිම හොදයි ඔය රිවස් එකක් ගහද්දි ඔය කෝන් එකක් තළාගෙන ගියත් නැත ටොකු නම් අනින්නෙ. ඉතින් අජිත් අයියත් ගාල්ලෙනෙ අපේ සෙට් එක දැන් ඉතින් ඔන්න හෝ ගාල අර අන්කලුත් එක්ක රිවස් පුරුදුවෙනව. 

කොහොම හරි ඔන්න ඉතින් අපි උදේ දහය විතර වෙද්දි ගාල්ලෙ කච්චේරියෙ අත්සන් කරල ආවට ඔය ට්‍රයල් බලන මහත්තය නම් ආවෙ දවල් දෙකට විතර. හයියෝ අපෙ එවුන් සෙට් එකටත් ඉතින් ඒ වෙද්දි පුරුදු වෙලා පරුදු වෙලා ඇති වෙලා තිබුණෙ. 

හරි ඔන්න ඉතින් මුලින්ම බලන්න ගත්තෙ බයිසිකල්. අට ගහන එක තමා කරන්න තිබුණෙ. ඉතින් ඔය අට ගැහිල්ලත් සෙල්ලම් නැහැ. ඇයි ගැහුවෙ අර මං කියපු විදියෙ ගොඩනැගිල්ලක් ඇතුළෙනෙ. තිබුණෙ සිමෙන්ති පොලව. එක වෙලාවක් තව ඩිංගෙන් එකෙක් බයිසිකලේ ලිස්සල ගිහින් හොම්බෙනුත් යනව. කොච්චර උණත් මෑන්ස් වැඩ කරු නිසා නොවැටි බේරුණා. 

ඊළගට ඉතින් ඔන්න මගෙ වාරෙ දැන් බලන්නෙ රිවස් එක. මමත් ඉතින් අනේ මට සියලු දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි කියාගෙන ගොඩවුණා වාහනේට. ඉතින් ඔන්න ක්ලච්එක පාගල දැම්ම රිවස් ගියර් එකට. දැන් ඔන්න මමත් ඉතින් පිටිපස්සත් බල බල ගන්නව වාහනේ පස්සට. ඔන්න දැන් එන්නෙ ඔය එල්අකුරෙ හැඩේට තියල තියන පළවෙනි කෝන් එක ගාවට. අජිත් අයිය කියල දුන්නෙ මුලින්ම පළවෙනි කොන් එක ගාවට ලං කර ගන්න, ඊට පස්සෙ ෆුල් කපන්න, වාහනේ පස්සට යන්න දීල හැරවිලා කෙළින් උණාම ක්ලච්එක පාගල බ්‍රේක් එක තද කරන්න. ඊට පස්සෙ බ්‍රේක් එක අත ඇරල හැන්ඩ්ල් එක කෙළින් කර ගන්න, ඊට පස්සෙ පුතේ ඉතින් ලස්සනට වෙනින් කොහෙවත් ගෙනියන්නෙ නැතිව කෙළින් වාහනේ රිවස් කරන්න. වෙනද නම් ඔය හැරවිල්ල දානකොට ඉතින් ගිහින් ඔය කෝන් එකක වද්දගන්නවම තමා ඉතින් ඒ වගේ වෙලාවට හොදවයින් ටොක්කකුත් කනව. ඒත් ඉතින් මෙදා පොටේ නම් නැත වැරදුනෙ. හරියටම කටපාඩම් කරගත්තු තියරියටම තමා රිවස් එක වැදුනෙ. ඔන්න ඉතින් රිවස් එකත් ගොඩ. ඊළගට තියෙන්නෙ වාහනේ පාරෙ අරගෙන යන්න. 

ඔන්න ඉතින් රිවස් එක හැමෝම පෙන්නල ඉවර කරාට පස්සෙ තමා පෙරහැර පටන් ගත්තෙ. ඇයි කට්ටියට ත්‍රීවීලුයි, වෑන් එකයි තව පාරෙ ගෙනියන හැටියි පෙන්නන්න තිබුණනේ. මෝටර් බයික් අරන් ආපු අයට තමයි ලොකුම කරදරේ උණේ මොකද ඒ අය වාහනත් පෙන්නන්න තිබුණ නිසාත්, මෝටර් සයිකලේ තියල යන්න තැනක් නැති නිසාත් ඒ අයගෙ නම කියවෙනකම් වාහන පෝලිමේ පිටිපස්සෙන් ගාටන්න උණා. අනේ ඉතින් වාසනාවට වගේ මට එච්චර වෙලා පෙරහැරේ යන්න සිද්ධ උණේ නැහැ. හතර පස්දෙනකුගෙන් පස්සෙ වාරෙ අවෙ මට. එතකොට බූස්ස වත් පාස් කරල තිබුණෙ නැහැ. 

කොහොම හරි වාහනේ අරගෙන සයිඩ් කණ්ණාඩිය බලල සිග්නලුත් දාලා ෆර්ස්ට්, සෙකන්ඩ්, තර්ඩ් දාල ඔන්න ඉතින් මම දැන් යනව. මහත්තය එහා පැත්තෙ සීට් එකේ ඉතින් කොහොම හරි දැන් වාහනේ යන ගමන් මට කිව්ව අයින් කරල නවත්තන්න කියල. ඒ හරියෙ නවත්තන්න විදියකුත් නැහැ. මෙන්න බොලේ එක සැරේටම ඉස්සරහ යන තීවීල් එකක් බ්‍රේක් කරනව. හරි දැන් වැඩේ හරි ඔවර්ටේක් කුත් කරපන්කො. ඔන්න ඉතින් යනව. හැබැයි ත්‍රීවිල් එකට ටිකක් ළගයි ළගයි වගේ මෙන්න බොලේ එක සැරේම අර එහා පැත්ත හිටි මහත්තය කලබල උණා, මගේ අතේ තිබුණ ස්ටියරිං වීල් එකට අත තියල පොඩ්ඩක් වාහනේ හරවල මට කියනව 

"ඇයි දරුවො හැපෙන්න යනව දැක්කෙ නැද්ද" කියල. 

කොහොම හරි ඒ සිද්ධියෙන් පස්සෙ මම නම් හිතුවෙ වැඩේ දෙල් වුණා කියල ඒත් ඉතින් අන්තිමේදි මමත් පාස් කියල අර දෙන තාවකාලික කොල කෑල්ලෙ ලියවිලා තිබුණ. කොහොම හරි ඉතින් ඔන්න දැන් මටත් ලයිසන් තියෙනව. 

ඉතින් අජිත් අයියට බෝතලයක් අරන් දෙන්න කට්ටිය සල්ලිත් එකතු කරා. මම ඉතින් ඒ වැඩේටත් සම්මාදන් වෙලා පාරෙ බස් එකක නැගල අයෙමත් ගෙදර එන්න පිටත් උණා. හරිම සතුටුයි. ඔන්න ඔය විදියට තවත් එක් අමතක නොවෙන අවස්ථාවක් මගේ ජීවිතේට එකතු උණා.

8 comments:

  1. ඊ ළග ආසාවත් ඉෂ්ඨ කර ගන්න අදිටන් කර ගන්න!! (වාහනයක් ගන්න එක )

    ReplyDelete
  2. @Kenny Dematagoda
    ඔව් ඒකත් කොහොම හරි ඉෂ්ට කර ගන්නව.

    ReplyDelete
  3. ඔයිං ගියා මදැයි.මල්ලී,"ඇයි දරුවො හැපෙන්න යනව දැක්කෙ නැද්ද" කියල කියන්න තරම් හොද ට්‍රයල් බලන කෙනෙක් හිටිය එක ගැන පුදුමයි ගාල්ලෙ.මාත් ඔය ලැයිසොම ගන්න ට්‍රයල් ගියා.අප්පේ අපිට ඇවිත් ඉදිය ට්‍රයල් බලන කෙනා නම් හරි කරුනාවන්තයි.හෙල්මට් එක නොදා ට්‍රයල් එක කරන්න පුරුදු වෙවී ඉදිය පිරිමි ළමයෙක්ට එයා "කොහෙද යකෝ යන්නෙ හෙල්මට් නොදා?පලයං ගිහිං හෙල්මට් එක දාගෙන පුරුදු වෙයං" කියල තමා ඇමතුවෙ.කරුණාව බේරෙනව.. :D

    සුබ පැතුම් මලයගෙ ආසාව ඉෂ්ට වුණාට..!

    ReplyDelete
  4. @ආඩම්බරකාරී
    "යකෝ" කියලැයි ආමන්ත්‍රණය කළේ හැබෑටම ඈ...

    ReplyDelete
  5. අම්බෝ..මටත් ඔහොම තමයි සතුටු හිතුනේ ලයිසන් එක ලැබුන දවසේ...:) මම රිවස් කරලා තිබුනේ හෑන්ඩ් බ්රේක් එකත් ඇදගෙන...ඒත් පාස් කරා ඉතින් :) මම මේ පැත්තේ ආවමද කොහෙද මම හිතන්නේ...

    ReplyDelete
  6. "ෆර්ස්ට් එකට දලා හෑන්ඩ් බ්‍රේර්ක් එක පහලට දාන්න"
    කොහොමද මගෙ වැඩ? කියල දීපු විදිය එහෙම්ම කට පාඩම්.

    ReplyDelete
  7. හ හා.... සුභ පැතුම් ලයිසොමට !!! මටත් ඕක තාම හීනයක්. ලඟදීම සැබෑ කරගන්න ඕනේ.

    ReplyDelete

ඔබේ අදහසත් ලියලම යන්න

Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL