Latest Entries »

Showing posts with label විවේකය. Show all posts
Showing posts with label විවේකය. Show all posts

නුවර ගමන

හුග කාලෙකට පස්සෙ ඒ කිව්වෙ ආයෙමත් SLIIT එකේ semester එකක් ඉවර වෙලා දැන් මාසෙකටත් කිට්ටුවෙන්න එනව. සාමාන්‍යයෙන් අපට ලැබෙන දිග නිවාඩු කාලෙදි මම නම් කරන්නෙ නිවාඩුව ගතකරන්න මගේ මවුතුමියගේ උපන්ගම වන මාතර යන එකයි. ඉතින් දැන් එහෙ ගියත් කට්ටිය අඩුයි. ශෂී අක්ක නම් කොළඹ ජොබ් එකක් කරනව, නිල්ම නංගි බැංකුවේ වැඩට යනව, චිරාන් මල්ලිට මේ අ‍ගෝස්තු උ.පෙ. ඉතින් මගේ දින තුනක මාතර ගමනත් කිසිම සද්දයක් බද්දයක් නැතුව ඉවර වෙන්න තිබුන; හැබැයි සීය නොසිටින්න.

වාසනාවට වගේ පොසොන් දවස වෙද්දිත් මම හිටියෙ මාතර. මගේ මාමා ඉන්නෙ නුවර; ඉතින් සීයට හිතුන මාමලාගෙ ගෙදර ගිහින් එන්න. කොච්චර හොදද, ඉතින් ඔන්න මටත් අයෙමත් සැරයක් නිවාඩුවෙදි ට්‍රිප් එකක් සෙට් උනා. මුලින්ම කතා කරගත්තෙ අපේ ගෙදර අයත් අරගෙන අම්බලන්ගොඩින් අධිවේගීමාර්ගය හරහා අවිස්සාවේල්ලෙන් නුවර යන්න, හැබැයි ඉතින් කවදත් අළුත් දෙයක් කරන්න බලාගෙන ඉන්න ප්‍රභාත් මාමා නම් ඒකට කැමති උනේ නැහැ. අන්තිමේදි මාතර ඉදන් හම්බන්තොට හරහා නුවර යන්න තීරනය උනා. යන්න තීරනය උනේ පොසොන් පෝය දවසෙ.

අම්මලත් උදේ පාන්දරින් මාතර සීයලගෙ ගෙදර ආවට පස්සෙ අපි අපේ ගමන යන්න පිටත් උනා වෑන් එකෙන්. උදේ හීල දන්සැල් වලින් පිරිමහ ගන්න තීරනය උනා. අන්තිමේදි දවල්ට කන්න ගෙනිච්ච කෑමත් නොකා දියළුම ඇල්ල ගාව තිබුන ෆ්‍රියිඩ් රයිස් දන්සැලකින් දිවා ආහාරය අරගත්ත.

මේ ගමනෙ තිබුනු විශේෂත්වය උනේ පෙර සූදානමක් නොතිබීම. ඇත්තටම එය ගමනෙ සුන්දරත්වය තවතවත් වැඩි කරන්න හේතුවක් උනා. ගමන ආරම්භයෙදි හිතාගෙන හිටියෙ පළවෙනි දවසෙම නුවර යන්න. ඒත් අන්තිමෙදි තීරනය උනා පළවෙනි දවසෙ බන්ඩාරවෙල නතර වෙන්න. කොහේ ගියත් අපේ නෑදෑයො ලංකාව පුරාම ඉන්න නිසා :) මුලින්ම නවතින්න තීරනය ක‍ලේ අපේ සීය කෙනෙක්ගෙ ගෙදර. ඉතින් අපිට හවස තුන විතර වෙද්දි අපේ පළවෙනි නවාතැන්පො‍ල වන බණ්ඩාරවෙලට යාගන්න පුළුවන් උනා.

අවුරුදු ගාණනකින් නාපු නැති සෙට් එකක් ‍වගේ ඊලගට අපි කරේ හොද ස්වාභාවික උල්පතකින් වතුර ගලපු පීල්ලකින් නාගනිපු එකයි. හපොයි ඒකෙ සීතල. ඔය අතරෙ මම කළේ මගේ බණ්ඩාරවෙල හිටපු SLIIT යාළුවෙකුට call එකක් ගනිපු එක. ඒ අය දන්සැලක් ලෑස්ති කරල තිබුන. බණ්ඩාරවෙල ටවුමෙ පන්සලේ. ඉතින් පීල්ලෙන් නාල කරල මම ගියා දන් සැලට සහභාගීවෙන්න.



දුන්නෙ පාන්ගෙඩි තුන්සීයක දන්සැලක්. සීනි සම්බල් ඇතුලට දාල ‍හොදට ඔතල කරල එහෙම පාන්පෙති තිබුන නිසා. පිළිගන්වන එක එච්චර අමාරු උනේ නැහැ. පැය එකහමාරෙන් දන්සැල ඉවරයි. රෑ වෙනකම් දන්සැල් කරන්න හිතාගෙන ආපු යාළුවත් එක්ක අන්තිමේදි මම බණ්ඩාරවෙල ටවුමෙ රවුමක් ගැහුව. බණ්ඩාරවෙල බලන්න කියල තැන් නැහැ. තිබුනත් තියෙන්නෙ "එඩිසන් බංගලාව" විතරයි. අන්තිමේදි යාළුවගෙන් සමු අරගෙන මම ආව සීයලගෙ දිහාවට.

ඊට පස්සෙ දවසෙ උදේ අපි පිටත් උනා නුවර යන්න. නුවර ගමන නුවරඑළිය හරහා වැටිල තිබුන නිසා. හක්ගල මල් වත්තත් බලන්න යන්න තීරනය උනා.



මල් වත්ත බලල අපි සේන්දු උනේ නුවර එළිය ටවුමටයි. නුවර එලිය දැන් හරිම ලස්සනයි, පිරිසිදුයි. දැන් ග්‍රෙගරි වැව අවට හරිම ලස්සනයි. වැව වටේ ඇවිදින්න පුළුවන් වෙන විදියට ගල් අතුරල මාර්ගය සකස් කරල තිබුන. මිනිස්සුන්ට නිවීසැනසිල්ලෙ අවිදින්න නම් කියාපු තැන.




පොඩි මල්ලිට අශ්වයො පදින්න ඕනයි කියපු නිසා ඔන්න අපි අශ්වයෙකුත් පැද්ද.



අන්තිමේදි අපි හවස හතර විතර වෙද්දි නුවර නිමල් මාමලැයි ගෙදරට සේන්දු උනා. මාලිගාවට යන්න ඊලග දවසෙ උදේ කියල තීරණය උන නිසා කට්ටිය හොදට විවේක ගත්ත. අන්තිමේදි ඊලග දවසෙ උදේ මාලිගාවත් වැදල අපි අවිස්සාවේල්ල පැත්තෙන් ගෙදර ආව.


මාලිගාවෙ පහන් වැ‍ට වටේට වීදුරු වලින් හදල තිබුන ආවරනය අපේ ගමේ අයගෙ ධන පරිත්‍යාගයෙන් කරල තිබුන බව දැකල තව ටිකක් සතුටු හිතුන. හරිම පිළිවලකට ඒක හදල තිබුන.


දැන් ඉතින් අධිවේගී මාර්ගයකුත් තියන නිසා ‍කොලඹ ඉදන් ගෙදර එන්න ගිය පැය දෙකහමාර අඩුවෙලා රෑ අටහමාර විතර වෙද්දි අපි අම්බලන්ගොඩට ආවා.

මේ මුළු ගමනෙදිම මම දැකපු විශේෂ දෙයක් තමයි. අපේ ‍රටේ පාරවල් ටික. හැම පාරක්ම කාපට් කරල තිබුන නිසා ගිය ගමනෙ කිසිම තෙහෙට්ටුවක් දැනුනෙ නැහැ.

රත්නපුරේ ගමන

එදා දිනය 2011/12/20 වෙනි අගහරුවාදායි. මගේ මාතර අක්කාට මරදානේ බැංකුවක ජොබ් එකක් ලැබීම හේතුවෙන් ඇගේ කොළඹ ගමන අධීකෂනය කරීමට සිදුවූයේ මටය. මවගේ පැත්තෙන් පවුලේ දෙවනියට වැඩිමලා වූ හෙයින්ද දැනටමත් කොළඹ නගරයේ රෝන්දේ ගොස් පලපුරුද්දක් ඇති නිසාද ඈ වෙනුවෙන් බොඩිම් සෙවීම, දිවා රෑ නොබලා ආරකෂා සම්පන්නව මහරගම වූ ඇගේ නැවතුම්පොල වෙතද රැගෙන ඒම මගේ රාජකාරිය විය.

එදින සවස මාගේ මලයා තුමාගෙන් දුරකතන පණිවිඩයක් ලැබුනේ මාගේ කම්මැලි කමෙන් පිරුණු ජීවිතයට නැවුම් ආලෝකයක් එකතු කරමිනි. මාස දෙකකටත් වැඩි මගේ නිවාඩු කාලය ඔහේ නිකම්ම ගෙවෙමින් පැවතියේ සිතටත් නොදැනීමය. මා සිටියේ නැවතත් SLIIT ජීවිතයේ තවත් එක් සිමාසිකයක් ආරම්භවේ යන ඩිංගිත්තක් සතුටු මානසිකත්වයක පමණි.

ආරුගම්බේ කරා විනෝද චාරිකාවක් ඊලග සෙනසුරාදා යන බව දැන ගැනීමෙන් සිත පිනා ගියේය. විනෝද චාරිකාව සංවිදානය කොට තිබුනේ මගේ පියාගේ පාර්ශ්වයෙන් බැවින් අක්කාගේ රාජකාරියෙන් බැහැර වීමේ නිම්හිම් නැති සතුටෙන් මා එවෙලේම මලයාට කීවේ

“මමත් යනවා කට්ටියට කියන්න” 

යන්නය. ඉතින් ලග එන සෙනසුරාදා දිනය තෙක් කිරීමට වැඩ ටික plan ගැසුවේ ඉන්පසුය. ඒ වන තෙක් මා SLIIT එකේ සිමාසික මුදල ගෙවීම සිදු කොට තිබුනේ නැත. සෙනුසුරාදා දිනයත් සමග දින තුනක විනෝද චාරිකාවට ගියොතින් මා හට මුදල් ගෙවීමට දවසක් ඉතිරි නොවන බැව් මට වැටහුනේ නත්තල් වලට සාමාන්‍යයෙන් දින කිහිපයක් එම ආයතනය වසා තබන බැවිනි. එම නිසා මා ගෙදර යායුතුව තිබුනි. සිකුරාදා SLIIT එකේ නිවාඩු දිනයක් වූ හෙයින් මට මුදල් ගෙවීමත් ඒ කටයුතු සියල්ලමත් නිමා කරන්නට තිබුනේ දින දෙකක් පමණි. එයට ද අමබලන්ගොඩ පැමණිය යුතු විය. එහෙයින් බදාදා රාත්‍රියේ අක්කාව මරදානේ වැඩපොලෙන් ගෙන ඇගේ මවු වන ලොකු අම්මාට බාර දී මම එතනින්ම ගෙදර ඒමට පිටත් වුනෙමි. ගෙදර එන විට රෑ නවයහමාර පමන විය. එහෙම්මම මුහුන කට සෝදා මාගේ ප්‍රියතම ආහාරයක් වූ කොත්තුවක්ද අනුභව කොට නින්දට ගියෙමි.

පසු දින උදෙන්ම නැගිට ඇගපත සෝදා දහය පමන වන විට බැංකුවට මාගේ සිමාසික මුදල්ද ගෙවා හැරෙන තැපෑලේ මාළඹේ ඒමට පිටත් වුනෙමි. ඒ බ්‍රහස්පතින්දා දිනයයි. මාළඹේ ගොසින් ඉන් පිටත් වන විට අක්කාව වැඩ පොළෙන් ගැනීමට කාලයක් ඉතිරි නොවෙන බව දැන සිටි බැවින් කල්තියාම ලොකු අම්මාට ඒ ගැන කියා තබා මම මගේ සුපුරුදු දෙල්කද මා රැදී සිටින ලොකු තාත්ලාගේ ගෙදර පැමිණියෙමි. ඉන්පසු සිකුරාදා දිනයේ සවස අක්කා රැගෙන ඒමේ බාර දූර රාජකාරිය සිදු කළෙමි.

රාත්‍රියේ ගෙදර එන විට මාගේ සිහින මාලිගා සියල්ලම බිද වැටී තිබුනේ. ආරුගම්බේ විනෝද චාරිකාව අහෝසි වී තිබූ නිසාවෙනි. ආරුගම්බේට පෙර නොවූ විරූ ලෙස වැස්ස ඇද හැලීම එයට හේතුවී තිබුනි. නමුත් මගේ ලොකු තාත්තාට නම් යන්නට ලෑස්ති වූ විනෝද චාරිකාව අතහැරීමට කිසිදු කැමැත්තක් නොතිබු නිසා වෙන් මෙවර අළුත් චාරිකාවක් ඔහු විසින් සංවිධානය කරන්නට යෙදුනි. රත්නපුරේ, අපේ අළුත්ම විනෝද චාරිකාවේ නැවතුම් පොලයි.

රත්නපුරේ Finlay තේ වතුයායේ General Manager වශයෙන් කටයුතු කරන මගේ මාමලාගේ බංගලාවට යාම අළුත්ම plan එකයි.



වසර ගණනාවකින් රත්නපුරේ ගොස් නොතිබුන බැවින් එයද මට විනෝද චාරිකාවක්ම විය. ඉන්පසු ආයෙත් යන්නට සිටි කට්ටියට කතා කොට වැඩේ set කර ගත් අපි පසු දිනයේ දහවල් එකොලහට පමණ A4 මාර්ගයේ රත්නපුර බලා පිටත් වූ යෙමු. යන මුලු පිරිස 13 දෙනෙකු පමනය. ගමන් ගත්තේ තම තමන්ගේ වාහන වලිනි.



රත්නපුර යන අතර මග මුන ගැසෙන Leisure World එකටත් ගොඩ වැදී යෑමට ලොකු තාත්තා කල්පනා කොට තිබුනි.




ලංකාවේ තිබෙන එකම Theme Park එක නම් Leisure World එකයි. එය විවෘත්ත කරනු ලැබුවේ 2008 දීය. එහි ඇති Water World එක ලාංකික ජනතාවට අළුත්ම අත්දැකීමක් එක් කරන්නකි. එහි තිබෙන නානාප්‍රකාර Water Slides වල ගමන් කිරීම බොහෝ අයගේ පලමු තෝරා ගැනීමයි.

විවිධ වූ හැඩ වලට සකස් කර තිබෙන Water Slides එහි තිබේ. සෑම water slide එකකම මා එක් වරක් පමණක් ගමන කළෙමි. ඒවායේ ගමන් කිරීම සැබවින්ම ත්‍රාෂ්‍ය ජනකය. නමුත් සෑම කෙනෙකුම ජීවිතයේ එක් වරක් හෝ මෙහි ගොස් අත්දැකීමක් ලද යුතුය. ලංකාවේ ජනතාවටද පිටරට වලදී මෙන් සතුටු වීමට මෙවන් ස්ථානයක් තිබීම පිළිබද මා නම් හුගක් සතුටට පත්වෙමි.

Leisure World එකේ පැය දෙකක් පමන ගත කළ අපි නැවත රත්නපුරේ බලා පිටත් වූවෙමු.


ඒ වන විටත් එහි පැමිණ සිටි මගේ පුංචිලා, නැන්දලා, මාමලා අපව පිළිගත්තේ මෙසේයි.

ලෝක පූජිත Ceylon Tea කෝප්පයක රස බැලුවේ ඉන්පසුවය.

එදින රාත්‍රී ආහාරයගත් පසු කට්ටිය කථා කර ගත්තේ පසුදා උදේ උඩවලව ජලාශයත්, ඇත් අතුරු සෙවනත් බැලන්න යාමටය. යන්නට සිටි ගමන (ආරුගම්බේ) නවතා දමා පැමිණි නිසා බලන්නට යෑමට ඇති තැන් වල හිගයක් පැවතුනි. මා හැරුනු කොට අනෙක් අය නම් බොහෝ විට රත්නපුරේ පැමිණ ඇවිද ගොස් තිබූ බැවිනි.

තාරාවෝ


පසුදා උදේ පාන්දර හතරට පමණ ඇහැරුනේ සීතලටය. කෙසේ හෝ අනික් අයත් නැගිටින කම් ඇස් වහගෙන ඇදේ හාන්සි වී සිටියෙමි. පසුව උදේ තේ පානය කොට මුහුන කට සෝදා ආහාර ගන්නා විට ඉදිරි පස වීදුරුවෙන් දක්නට ලැබුනේ තාරාවන් පිරිසක් වත්තට පැමිනෙන ආකාරයයි.

 උඩවලව ජලාශ වේල්ල

මාළු අල්ලමින්


 සොරොව්වෙන් එහා පැත්ත

 එක් සොරොව්වක් දරා සිටින ජල කද


හිදන් පසුදා උදයේම අප උඩවලව කරා පිටත් උනෙමු. එහිදී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකයන් විසින් ඉදිකරනු ලැබූ දැවැන්ත උඩවලව ජලාශයත් එහි dam එකත් නැරඹුවෙමු.

උඩ වලව ජලාශය ඇති මාර්ගයේ මුලුදිගටම පාහේ අලි වැටවල් ගසා තිබුනි. එනමුදු සමහර සංචාරකයන් ඉන් ඔබ්බට ගොස් එහි දියේ පීනමින් විනෝද වනවා අප දුටුවෙමු. නමුත් මා නම් එය අනුමත කරන්නේ නැත. කිමද අලි වැටක් ගසා තිබෙන්නේ යම්කිසි හේතුවක් නිසාය. බැරිවෙලාවකවත් කොහේවත් යන අලියෙක් එතනට පැමින මහා විනාසයක් කරන්නට ඉඩ තිබෙන බැවිනි.

කෙසේ හෝ ඉන් පසුව අප ගියේ උඩ වලව ජලාශයට මදක් ඔබ්බෙන් වූ ඇත් අතුරු සෙවන නැරඹීමටය. නමුත් එහිදී අපට දැන ගන්නට ලැබුනේ එය නැවත අලි පෙන්වන්නට පටන් ගන්නේ සවස තුනට කියායි.



දිවා ආහාරය ගැනීම සදහා ස්තාන බොහොමයක් අප කතා කර ගත්තත් අවසානයේ අපත් සමග සිටි උපුල් මාමා යෝජනා කළේ උඩවලව ජලාශය අසලම පිහිටි Kalu's Hideaway එකෙන් දිවා භෝජනය ගනිමු කියායි. මෙම හෝටලය වනාහි 1996 Wills ලෝක කුසලානය දිනා ගත් කන්ඩායමේ සිටි රොමේෂ් කලුවිතාරනට අයත් හෝටලයකි.



දහවල් එකට පමන අප එහි ගියෙමු. ඉතාමත් අලංකාර ලෙස ඉදිකරමින් පවතින එහිදී අප ඇනවුම් කළේ එහිම වවන එලවළු වලින් සැදුම් ලත් ගමේ ආහාර වේලකි.


 වෙලාවට නාන්නත් ඇදුමක් අරගෙන ගියේ






කලූවිතාරන ඇන්ද ටී-ෂර්ට්



අවසානයේ දවල් තුන පමණ වන විට අපි Kalu's Hideaway එකෙන් පිටත් වුනේ ඇත් අතුරු සෙවන බලන්න යන්න. යන කොට තුනයි විස්සට විතර ඇති ඒ වෙන කොටත් ඒක බලල ඉවර වෙලා මිනිස්සු එලියට එනව. පස්සෙ දැන ගන්න ලැබුනෙ ඒකෙ කරන්නෙ පුංචි ඇත් පැටව්න්ට කිරි පොවන එක පෙන්වන එක විතරයි කියල. ඉතින් ඒව අපි නම් අලි අනාතාගාරෙ බලන්න ගිහිපු වෙලාවල් වලත් දැකල තියෙන නිසා දකින්න නොලැබුනාට දුකක් දැනුනෙ නැහැ. ඒ උනත් ඒ අලි රංචුව වතුර බොන්න උඩවලව ජලාශයට ඇවිත් ඉන්නව නම් අපි බලාගත්ත.


ඉතින් ඔක්කොමත් බලල අන්තිමේ ආපහු රත්නපුරේ බන්ගලාවට ආව. පස්සෙ දවසෙ ඒ කිව්වෙ මේක ලියන අද දවසෙ තමයි අපි එහෙ ඉදල කොළඹ ආවෙ. හරිම ජොලි චාරිකාවක්. හුගක් තැන් බලන්න ගියා. ඊලග සැරේ ඒ ලගම තියෙන පුංචි දඹදිවත් බලන්න යනවයි කියල හිතා ගත්ත. දැන් නම් පාර දන්න නිසා මට තනියම උනත් ගිහින් එන්න පුළුවන්. ඔන්න දැන් නම් ඉතින් මට නිවාඩු කාලයක් ආවහම ගෙදර කම්මැලියි කියල ඉන්න වෙන එකක් නැහැ. එහෙම හිතුන ගමන්ම රත්නපුරේ ගිහින් එනව.




ආවා ආවා පළමු ලව් හුටපටය ආවා

මේ දවස් වල කට්ටිය ලව් කථා, බූට් කථා, ලව් කවි, බූට් කවි එහෙම වැඩිපුර ලියන හින්ද මමත් හිතුව පොඩි පහේ ලව් කතාවක් කියන්න. කියන්න නම් ඉතින් කථා කිහිපයක්ම තිබෙන නිසාත් දැන් දැන් කපු ආච්චිල ගැනත් අපේ ගෙවල් දොහේ ඇහෙන නිසාත් ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල මටම වෙච්ච ලව් සීන් එකකින්ම මම මේ කථා මාලාව ආරම්භ කරනව.

ඉතින් මේ ලව් කතාවෙ කතා නායිකාව මම දැනුත් දන්න අදුනන යෙහෙලියක්, කතා නායකය ඔබ තුමන්ල හොදින් අදුනන අම්බලන්ගොඩ දොහේ Hishan Melanga වන මා ලෙසත් සිතා ගන්න.

ඉතින් අපි ඇත්තටම අපේ ඉතිහාසයට ගිහින් බැලුවොත් හුගක් අයට මේ වගේ ආදර හැගීම් ප්‍රතමයෙන්ම ඇතිවෙන්නෙ ඉස්කෝලෙ යන කාලෙදි නෙමෙයි?

මම පොඩි කාලෙදි ඉතින් ඔය මම්මල, නැන්දල හෙම ලොකු උනාම බදින්නෙ කවුද කියල ඇහුවහම කියල තියෙන්නෙ අපේ සදුනි අක්කව තමයි. (ඒ ඉතින් මගේ සුදු බාප්පගෙ දුව.) ඉතින් ඔය වගේ කතා අහගෙන අහගෙන යද්දි කාගෙන්දෝ නංගියෙක් ගෙනුත් එක දවසක් එයා බදින්න ඉන්නෙ කාවද කියල ඇහුවම කියල තියෙන්නෙ හත්තලාමෙ මගේ නම.


ඉතින් ඒ ඉතිහාස කතාවත් දැනගෙන දැන් මම නමය වසරෙ ඉගෙන ගන්න කාලෙට එමු. ඉතින් කතාව මෙහෙමයි ඇත්තටම කොල්ලන්ට කලින් කෙල්ලන්ට මේ වගේ හැගීම් ඇතිවෙන එක පොඩි කාලෙදි සාමනයයි. ඒකනේ ඔය දෙමව්පියන් පාසල් යන කාලෙ ඇති වෙන ආදර අන්දර වලට එහෙම කෙලින්ම තිත තියන්නෙ. ඉස්කෝල් කාලෙ නිමා වෙන කොට කතාවත් නිකම්ම ඉවර වෙලා යනව. එතනිනුත් එහාට කතාව යනවය කියන්නෙ අනිවා සිරා ලව් එකක්.

ඉතින් මේ කෙලියත් ඔය උඩින් කියපු කතා කාරියට ඈතිවුනා. ඈට කොතරම් මාව අවශය වී තිබුනේද කිවහොත් එක දවසක් හොරාට මුද්දක් ඉස්කෝලෙ උස්සන් ඇවිල්ල පන්තියෙ හැමෝටම පෙන්නල ඒක මං එයාට දීපු මුද්දය කියල :( 

ඉතින් හිතා ගත් හැකිනෙ ඒ දවස් වල මම හිටි තත්වෙ. (දැන් නම් මතක් වෙනකොටත් හිනා.) ඒ සීන් කෝන් එක කොල්ලන්ගෙ විහිලු තහලු මැදිනුයි, නසරානි කෙල්ලන්ගෙ විහිලු තහලු මැදිනුයි බේර ගත්තෙ බොහොම අමාරුවෙන්.

ඒ කතාවෙන් කියවෙන එක දෙයක් තමයි කෙල්ලන් හරිම දරුණුයි. ඒ මදිවට සෑහෙන බොරුත් කියනව. එලිපිට blackmailing කරන්නත් හරි දක්ෂයි.

ඉතින් එහෙම කිව්වයි කියල දැන් මේක කියවන කාන්තා පාර්ශවය මගෙත් එක්ක තරහ වෙන්න නම් එපා; අම්බලන්ගොඩ කොල්ලො කෙල්ලන්ට බූට් දෙනව වැඩියි කියලත් හුගක් අය කියනව. හික් හික්.

ඉතින් 
පරන හුට පටයක් මතකයට නැගුනු 
මම 
~Hishan Melanga~

නෙතු සිහින දකින බස් එකේ?

ඉතින් දැන් පාරෙ දුවන බස් වලත් TV හයි කරල. කියල වැඩක් නැහැ.අම්බලන්ගොඩ දැන් A/C ඇති නැති හුගක් බස් වල මෙහෙම සෙට් කරල තියෙනව. ඒක හින්ද අපි ගමනක් යනව නම් ඒ ගමන හිතටත්, ගතටත් නොදැනිම යන්න හැකි වෙලා තියෙනව. මම මේ ලගදි දවසක කොළඹ ගියා ඔය වගේ බස් එකක නැගල. ඔය යන අතර තුර අළුත්ගම හරියෙදි හරිම හුරු පුරුදු music video එකක් TV එකේ යන්න පටන් ගත්ත.

බැලින් නම් දෙයියනේ මේ අපේ අනුෂ්ක මල්ලිලයි, Super Mario කොල්ලයි එකතු වෙලා කරපු music video එක නේදැයි මට පැහැදිලි වෙන්න එච්චර වෙලා ගියේ නැහැ. කොහොම උනත් ඒ අය විශේෂයෙන්ම දැනට වෛද්‍ය ශිෂ්‍යයෙක් වන අනුෂ්ක ඉදුනිල් මල්ලි සහ පරිගණක පද්ධති හා ජාල කරන උපාධිය හදාරමින් සිටින Super Mario මල්ලියත් ඒ වීඩියෝ එක වැඩිය ප්‍රසිද්ධ කරල තිබුනෙ නම් නැහැ. කොහොම හරි මම ඒ මල්ලිලටත් මේ බස් කථාව ගැන කිව්වම ඒ අයත් පුදුම උනා. කොහොම හරි බස් එකක වගේ මහජනතාව යන එන වාහනයක සාමානයයෙන් දාන්නෙ කාගෙත් හිතට අල්ලල යන ගීත නිසා දැන් මේ ගීතයත් කාගෙත් සිත් දිනා ගෙන තියෙනව කියල මට හිතෙනව. ඒ ගීතය ඒ තරම් ලස්සනයි.

ඉතින් මම මේ ගිතය ගැන කලින් පල කළ post එක කියවන්න මේ සබැදිය භාවිතා කරන්න. කොහොම හරි සාකෂි වලටත් එක්ක මම ඒ ගීතයෙන් කොටසක් බස් රථයෙ දර්ශනය වන මොහොතෙදි record කර ගත්ත. පහලින් දාල තියෙන්නෙ ඒ වීඩියෝ clip එක.


ඊලගට තියෙන්නෙ අනුෂ්ක මල්ලියි, Super Mario කොල්ලයි, මෑන්ස්ගෙ අතිජාත කොල්ලො සෙට් එකයි කරපු original video clip එක. මේක ඉතින් ඉරජ්ල, භාතිය සන්තුෂ්ල ගහන video තරම් posh නැතිවුනත් හොදට කරල තියෙනව. හැබැයි music නම් ඉතින් පහර. කට්ටිය එහෙනම් ඒ වීඩියෝ එකත් රස විදින්නකො.


ඉතින් දැන් මේ post එක කියවන අයගෙත් ගීත නිර්මාණ එහෙම තියෙනව නම් අපේ මල්ලිල සෙට් එක සැදී පැහැදිල ඉන්නව කරල දෙන්න. කැමති නම් මට කතා කොරලම දෙන්න පුළුවන්. පහලින් දාල තියෙන image එක click කරල ඒ අයගෙ official web site එකට ගිහිල්ල බලන්න. ඒකෙ තව අළුත් සින්දුත් තියෙනව. ඔයාල කැමති නම් එතනින් download කරගන්න. තව මම අහන්න ආස කරනම තව සින්දු දෙකකුත් පහතින් දාල තියෙනව ඒවත් රස විදලම බලන්නකෝ.

"කුමරියකට කවියක් ලියලා" සින්දුව


"ගිම්හානයේ" සින්දුව


EmotionMusics

X-Fighter Jams

ඔන්න ඉතින් ඊයෙ දවසෙ, ඒ කිව්වේ 30ස් වෙනි සෙනසුරාද, මමයි මගේ ගැන්සියේ සෙට් එකයි ගියා Galleface එකට. වෙන මොනවටවත් නෙවෙයි X fighter jams බලන්න. එහි හවස හතරට විතර පටන්ගත්ත ෂෝ එක සෑහෙන ගති. මිනිස්සුත් මේක බලන්න සෑහෙන ඇවිත් හිටිය. ටිකට් රුපියල් සීයටයි පන්සීයටයි තමයි විකුනන්න තිබුනෙ.


සමහර විට කට්ටිය ටීවී එකේදි නම් ඔය මෝටර් බයිසිකල් උඩින් පන්නන සීන් එහෙම දැකලත් ඇති. ඒත් ඉතින් ඒව ඇස් දෙකෙන් අපට බලා ගන්න ලැබෙන්නෙ හුගක් කලාතුරකින්නේ? ඉතින් මේ මෝටර් සයිකල් කරනම් දාන්න ලංකාවට ඇවිල්ල හිටියෙ ලෝක ශූරයො හතර දෙනෙක්. ජයිල්ස්, නික්, රොකී සහ ඩැනියෙල්.





ඉතින් මේ අය හතර දෙනා එකතුවෙලා ඊයෙ පැය දෙකක ත්‍රිස්‍යජනක ජවනිකා කිහිපයක් ඉදිරිපත් කරල පෙන්නුව. ඉතින් දැන් මේව දැකල නැති කට්ටිය ඉන්නවනම් ඒ අයට බලන්න කියල මම පින්තූර ටික දානව. බෙල්ල කඩා ගන්න වගේ ආසාවක් තියෙනව නම් ගෙදරදි උත්සාහ කරල බැලුවට කමක් නැහැ කියල තමා එතන හිටිය announcer මහත්වරු නම් කිව්වෙ. ඒක නිසා ඔය මොටර් බයිසිකල් තියෙන මහත්වරු ටිකක් පරෙස්සමෙන් කරන දෙයක් කරන්න.

තව දෙයක් කියන්න තියෙනව. ඒ තමයි මේ වගේ දේවල් බලන්න ගියහම ඒ ප්‍රසංගය ඉදිරිපත් කරන අයව අපි දිරිමත් කරන්න ඕනෙ. එක විසිල් පාරක්, එක අත්පුඩියක් මේ වගේ මිනිස්සුන්ට සෑහෙන වටිනව. එවැනි පොඩි පොඩි දේවල් අපේ ප්‍රේකෂකයන්ගෙන් අඩුවෙන් දක්නට ලැබීම සෑහෙන අඩුපාඩුවක් කියල තමයි මට නම් එවෙලෙ හිතුනෙ. පහල තියෙන slide show එක full screen දාගෙන බැලුවනම් වඩා හොදයි.


දැනට ලංකාවෙ තියෙන සාමකාමී පරිසරයත් එක්ක මේවගේ ප්‍රසංග ඉදිරියෙදි තවත් සෑහෙන වැඩිවේවි. ඉතින් මට නම් හිතෙන්නෙ ඒක හොද ප්‍රවනතාවක්. ඔය අය මොකද ඒ ගැන හිතන්නෙ?
Add to Google Reader or Homepage

Add to netvibes

Subscribe in Bloglines

Add to My AOL